Friday, June 19, 2015

ලෝකයේ ප්‍රථම අකුණු සන්නායකය

වජ්‍ර චුම්බට

      වියලි කලාපයේ තැනිතලා බිම්වල ඉදිකල මහා ස්තූප කිසිවකට ඉතිහාසයේ කිසිදු අවස්ථාවකදී අකුණු සැර වැදී ඇතැයි ඔබ අසා තිබේද ?

      ඊසානදිග මෝසමෙන් අධික වැසි ලැබෙන උතුරු මැද වියලි කලාපයේ ඇති මෙම මහා ස්තූපවලට එසේ අකුණු නොවැදුනේ ඒවාට සම්බන්ධ කොට ඇති අකුණු සන්නායක නිසා බව ඔබ දැන සිටියේද?

      එකල නිර්මාණය කොට තිබු විශාලතම දාගැබ වූ රුවන්වැලි සෑයට සංඝතිස්ස රජතුමා විසින් වජ්‍ර චුම්බට නම් උපකරණයක් සවි කොට ඇත. වජ්‍ර යනුවෙන් අදහස් වන්නේ දියමන්ති හෝ අකුණු සැරයයි. චුම්බට යනු ඇදගැනීමක් අදහස්වන වචනයකි. එසේනම් එයින් අදහස් කොට ඇත්තේ අකුණු ඇදගැනීමේ උපකරණයක් පිළිබඳවය. පැරණි ඉංජිනේරුවන් ස්තූප නිර්මාණයේදී එහි උසම ස්ථානයේ සවිකල චූඩා මාණික්‍ය තුලින් අකුණු සැරය භූගත කිරීමේ ක්‍රමයක් අනුගමනය කොට ඇත.
        මෙය ප්‍රථමයෙන්ම සංඝතිස්ස රජුගේ කාලයේදී රුවන්වැලි සෑයට නිර්මාණය කොට ඇති අතර ධාතුසේන රජු විසින් රුවන්වැලි සෑයේ වජ්‍ර චුම්බටය ප්‍රතිසංස්කරණ කොට ජේතවනාරාමයට හා අභයගිරිය යන ස්තූපවලටද මෙවැන්නක් සවිකල බව වංස කතාවේ දැක්වේ.

         බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් අකුණු සන්නායකයක් නිපදවනු ලැබුවේ ක්‍රි.ව. 1753 දීය. එසෙනම් දැනට අවු.1800 කට පමණ පෙර අප විසින් ඉදිකල අකුණු සන්නායකය ලොව පැරැණිම අකුණු සන්නායකය නොවන්නේද?

- අභිමානවත් ඉතිහාසය -
- මයුර රන්දුනු බණ්ඩාර -

Sunday, May 31, 2015

පැරැන්නන් සතුවූ භෞතික විද්‍යා දැනුම පිළිබිඹු වන දැදිගම ඇත් පහන

        පළමුවන පරාක්‍රමබාහු  රජු (ක්‍රි.ව.1153 - 1186) උපන් ස්ථානය පුංඛගාම හෙවත් වර්ථමානයේ දී දැදිගම ලෙස හදුන්වයි. එතුමා උපන් ස්ථානය සිහිපත් වනු පිණිස එහි තැනු ස්තූපය සූතිඝර චෛත්‍යය හෙවත් කොට වෙහෙර ලෙස හදුන්වයි. මෙම ස්තූපය 1951 වර්ෂයේ දී කැණීමට ලක්කල පුරාවිද්‍යාඥයන්ට චෛත්‍යය ගර්භයේ තිබී ලෝකඩ ඇත් පහනක් හමුවිය.

       මිනිසුන් දෙදෙනෙක් ඇතෙකු මත හිද සිටින අකාරයට නිර්මිත මෙහි ඇතා හොඩයෙන් උක් ගසක් දරාගෙන සිටි.

        පහනට අවශ්‍ය තෙල් ඇතාගේ කුසට පිරවිය යුතු අතර පහන දැල්වීමේදී අඩුවන තෙල් ඇතාගේ කුසේ සිට ලිංගය තුලින් ක්‍රමයෙන් වෑස්සෙන ආකාරයට මෙය නිර්මාණය කොට ඇත. මේ සදහා පැරණි නිර්මාණ ශිල්පියා ස්ථිතික ජල විද්‍යා මූල ධර්මය භාවිතා කොට ඇත.

         අතීත ලාංකිකයන් තුල භෞතික විද්‍යා මූල ධර්ම පිළිබඳව අවබෝධයක් තිබූ බව මෙයින් මොනවට පැහැදිලි වේ.

- මයුර රන්දුනු බණ්ඩාර -
- අභිමානවත් ඉතිහාසය -

Monday, March 30, 2015

පංච කකුධ භාණ්ඩ

       පංච කකුධ භාණ්ඩ භාවිතා කොට ක්ෂත්‍රීය රාජාභිෂේකය පැවැත්වීම ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ. 250 - 210) කාලයේදී ය. නොදුටු මිතුරන් වූ දෙවනපෑතිස් රජු හා අසෝක අධිරාජ්‍යයාගේ මිත්‍රත්වය හේතුවෙන් ලංකාවට රාජාභිෂේකය පැවැත්වීමේ ක්‍රමය හිමිවිය.

       පංච කකුධ භාණ්ඩ ලෙස හදුන්වන්නේ පරිහරණය කිරීමේදී සෞභාග්‍යය හිමිවනු ඇතැයි සැලකෙන භාණ්ඩ පහකි. ඊට වල්විදුනාව, මිරිවැඩි සඟල, මඟුල් කඩුව, සේසත හා නලල් පටිය අයත් වේ. අසෝක රජතුමාගෙන් ලැබුණු මෙම පංච කකුධ භාණ්ඩ උපයෝගී කොට ගෙන දෙවනපෑතිස් රජු දෙවන වරටත් අභිෂේක උත්සවයක් පැවැත්විය.

- අභිමානවත් ඉතිහාසය -

Wednesday, March 18, 2015

දස්කොන් මහ අදිකාරම

     ප්‍රංශ ජාතික පියෙකුට හා පෘතුගීසි ජාතික මවකට දාව ඉපදුනු පේදුරු ගැස්කොයින් පසු කාලයේදී දස්කොන් ලෙස ප්‍රසිද්ධියට පත්විය. කිරිවවුලේ රාළ, ඒදඩුවාවේ රාළ හා යාලේගොඩ මහ අදිකාරම ප්‍රමුඛ කණ්ඩායම විසින් ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට (ක්‍රි.ව. 1707 - 1739) විරුද්ධව කරන ලද කුමන්ත්‍රණය අවස්ථාවේදී රජුව බේරා ගැනීමට ඉදිරිපත්වූ කණ්ඩායමේ කැපීපෙනුන නායකයෙකු වුයේ දස්කොන් රාළ ය. එම කැරැල්ලෙන් පසුව රජු විසින් ක්‍රි.ව. 1709 දී මොහුව මහ අදිකාරම් ධූරයට පත් කරන ලදී.

     නරේන්ද්‍රසිංහ රජු සෑමවිටම ප්‍රධාන මාළිගාවේ නොසිට හගුරන්කෙත මාළිගාවේ විසූ බැවින් අග මෙහෙසිය වූ ප්‍රමිලා හා දස්කොන් මහ අදිකාරම අතර රහස් ප්‍රේමයක් හට ගත්හ.

     කෙසේ හෝ මේ පිළිබඳව රජු දැන ගැනීම නිසා ක්‍රි.ව. 1715 දී රාජ උදහසට පත් වූ දස්කොන් මහ අදිකාරමගේ හිස ගසා මරා දැමීය. ඉතාමත් දක්ෂ කවියෙකු වූ දස්කොන් නිළමේ හා ප්‍රමිලා බිසව අතර හුවමාරු වූ කවි පෙළක් පහත දැක්වේ.

ප්‍රමිලා විසින් දස්කොන්ට

තුන්කල තුමුල වනයේ මල් රස නොවි            ද
කන්තල ගජන් කොපුලත බිගු රොනට වැ       ද
කන්තල පහර වැනි නිරිඳුට අසුව ඉ                 ද
පින්කල හිතනුවනි දැන් තැවෙනු කුමට           ද

දස්කොන් විසින් ප්‍රමිලාට

විසැස් කමලාව රස පහස නොවිඳ                   මා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණට                 මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් පෙ             මා
මහිස් එකක් ගිය නම් නුඹේ නමට කි              මා

- මයුර රන්දුනු බණ්ඩාර -