බිනර පෝය
වස් කාලයේ දී ආරාමවලින්, ලෙන්වලින්, වනසෙනසුන්වලින් බැහැරනොයන මහා සංඝරත්නය විසින් ඒ කාලයේ දී ශාසනික ආගමික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් සිදුකරනු ලැබේ. එදා අපේ යතිවරුන්ගේ අතින් ධර්ම ග්‍රන්ථ බහුල වශයෙන් බිහි වූයේ බිනර සමයේදීය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේදී ය.
එදා බිනර සමයේ බුදුරදුන් ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සමයෙහි මහා ප්‍රජාපති ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන්හට ඉල්ලා සිටියාය. එම ඉල්ලීම තෙවැනි වරට, බුදුරදුහු ප්‍රතික්‌ෂේප කළෝ ය. මෙයින් නොනැවතුණු මහා ප්‍රජාපති ගෝතමී පැවිද්ද ලත් කුමරුවන් පන්සිය දෙනාගේ බිසෝවරුන් සමග යොදුන් පනස් එකක් පමණ දුරුකතර ගෙවා යළිත් බුදුරදුන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියහ. කතුන්ට පැවිද්ද නොදෙන බව කියා දොරටුව අබියස හඬා වැටෙමින් ආනන්ද හිමියන්ට මේ දුක්‌ගැනවිල්ල කියා සිටියාය. ආනන්ද හිමියන් කතුන්ට පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද එය ද තෙවරක්‌ම ප්‍රතික්‌ෂේප විය. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් ප්‍රයත්නය නිසා ම කතුන්ට සසුන් දොර විවර විය. ඉතින්, මහා ප්‍රජාපති ගෝතමී පැවිදි වනු කැමැති නම් පෙර බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිරූ අෂ්ට ගරුධර්ම පිරිය යුතු බව දැන්වූහ. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ යෑයි ද කීවෝ ය.
ගරු ධර්ම අට
1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදින ම උපසපන් භික්‌ෂුවක දැක, වැඳීම් ආදි ගෞරව දැක්‌විය යුතු ය.
2. භික්‌ෂුන් නොමැති ප්‍රදේශයන් හි මෙහෙණක වස් නොවැසිය යුතු ය.
3. අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්‌ෂු සංඝයාගෙන් පොහොය විචාල යුතුයි. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු විය යුතු යි.
4. වස් අවසානයේ දී භික්‌ෂු - භික්‌ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතුයි.
5. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත් පිරිය යුතුයි.
6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්‌ෂ මානවිකාවක්‌ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.
7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‌ෂු කෙනෙකු හට ආක්‍රෝස පරිභව නොකටයුතු ය.
8. මෙහෙණියක විසින් භික්‌ෂුන් හට අවවාද නොකටයුතු ය. භික්‌ෂුන් විසින් භික්‌ෂුණීන්ට අවවාද කටයුතු යි.
ආනන්ද හිමියන් මේ ගරු ධර්ම අට ප්‍රජාපතී ගෝතමී හට කීමෙන් අනතුරුව එය එසේ පිළිගත්තා සේ ම පිළිපදින්නේ යයි ද කීමෙන් අනතුරුව, පස්‌වනක් ප්‍රීතියෙන් යුතුව පිනා ගොස් පන්සියයක් දෙනා සමග ප්‍රීති වූයේ, යම්පුරුෂයෙකු හෝ ස්‌ත්‍රියක ජල ස්‌නානය කොට සමන් මල් දමක් දෝතින් ගෙන සිරසෙහි තබාගන්නා පරිද්දෙනි. එබැවින් මෙහෙණි සස්‌නේ ආරම්භය වූයේ ද බිනර පුන් පෝදා ය.
No comments:
Post a Comment