Saturday, September 26, 2015

බිනර පෝය

බිනර පෝය

වස්‌ කාලයේ දී ආරාමවලින්, ලෙන්වලින්, වනසෙනසුන්වලින් බැහැරනොයන මහා සංඝරත්නය විසින් ඒ කාලයේ දී ශාසනික ආගමික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක්‌ සිදුකරනු ලැබේ. එදා අපේ යතිවරුන්ගේ අතින් ධර්ම ග්‍රන්ථ බහුල වශයෙන් බිහි වූයේ බිනර සමයේදීය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේදී ය.

එදා බිනර සමයේ බුදුරදුන් ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සමයෙහි මහා ප්‍රජාපති ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන්හට ඉල්ලා සිටියාය. එම ඉල්ලීම තෙවැනි වරට, බුදුරදුහු ප්‍රතික්‌ෂේප කළෝ ය. මෙයින් නොනැවතුණු මහා ප්‍රජාපති ගෝතමී පැවිද්ද ලත් කුමරුවන් පන්සිය දෙනාගේ බිසෝවරුන් සමග යොදුන් පනස්‌ එකක්‌ පමණ දුරුකතර ගෙවා යළිත් බුදුරදුන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියහ. කතුන්ට පැවිද්ද නොදෙන බව කියා දොරටුව අබියස හඬා වැටෙමින් ආනන්ද හිමියන්ට මේ දුක්‌ගැනවිල්ල කියා සිටියාය. ආනන්ද හිමියන් කතුන්ට පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද එය ද තෙවරක්‌ම ප්‍රතික්‌ෂේප විය. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් ප්‍රයත්නය නිසා ම කතුන්ට සසුන් දොර විවර විය. ඉතින්, මහා ප්‍රජාපති ගෝතමී පැවිදි වනු කැමැති නම් පෙර බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිරූ අෂ්ට ගරුධර්ම පිරිය යුතු බව දැන්වූහ. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ යෑයි ද කීවෝ ය.

ගරු ධර්ම අට

1. උපසම්පත්තියෙන් වස්‌ සියයක්‌ වූ මෙහෙණක විසින් වුවද එදින ම උපසපන් භික්‌ෂුවක දැක, වැඳීම් ආදි ගෞරව දැක්‌විය යුතු ය.

2. භික්‌ෂුන් නොමැති ප්‍රදේශයන් හි මෙහෙණක වස්‌ නොවැසිය යුතු ය.

3. අඩ මසක්‌ පාසා මෙහෙණක විසින් භික්‌ෂු සංඝයාගෙන් පොහොය විචාල යුතුයි. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු විය යුතු යි.

4. වස්‌ අවසානයේ දී භික්‌ෂු - භික්‌ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතුයි.

5. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක්‌ මානත් පිරිය යුතුයි.

6. අවුරුද්දක්‌ පුහුණු වෙමින් ශික්‌ෂ මානවිකාවක්‌ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කවර කාරණයක්‌ නිසා හෝ මෙහෙණක විසින් භික්‌ෂු කෙනෙකු හට ආක්‍රෝස පරිභව නොකටයුතු ය.

8. මෙහෙණියක විසින් භික්‌ෂුන් හට අවවාද නොකටයුතු ය. භික්‌ෂුන් විසින් භික්‌ෂුණීන්ට අවවාද කටයුතු යි.

ආනන්ද හිමියන් මේ ගරු ධර්ම අට ප්‍රජාපතී ගෝතමී හට කීමෙන් අනතුරුව එය එසේ පිළිගත්තා සේ ම පිළිපදින්නේ යයි ද කීමෙන් අනතුරුව, පස්‌වනක්‌ ප්‍රීතියෙන් යුතුව පිනා ගොස්‌ පන්සියයක්‌ දෙනා සමග ප්‍රීති වූයේ, යම්පුරුෂයෙකු හෝ ස්‌ත්‍රියක ජල ස්‌නානය කොට සමන් මල් දමක්‌ දෝතින් ගෙන සිරසෙහි තබාගන්නා පරිද්දෙනි. එබැවින් මෙහෙණි සස්‌නේ ආරම්භය වූයේ ද බිනර පුන් පෝදා ය.

Friday, June 19, 2015

ලෝකයේ ප්‍රථම අකුණු සන්නායකය

වජ්‍ර චුම්බට

      වියලි කලාපයේ තැනිතලා බිම්වල ඉදිකල මහා ස්තූප කිසිවකට ඉතිහාසයේ කිසිදු අවස්ථාවකදී අකුණු සැර වැදී ඇතැයි ඔබ අසා තිබේද ?

      ඊසානදිග මෝසමෙන් අධික වැසි ලැබෙන උතුරු මැද වියලි කලාපයේ ඇති මෙම මහා ස්තූපවලට එසේ අකුණු නොවැදුනේ ඒවාට සම්බන්ධ කොට ඇති අකුණු සන්නායක නිසා බව ඔබ දැන සිටියේද?

      එකල නිර්මාණය කොට තිබු විශාලතම දාගැබ වූ රුවන්වැලි සෑයට සංඝතිස්ස රජතුමා විසින් වජ්‍ර චුම්බට නම් උපකරණයක් සවි කොට ඇත. වජ්‍ර යනුවෙන් අදහස් වන්නේ දියමන්ති හෝ අකුණු සැරයයි. චුම්බට යනු ඇදගැනීමක් අදහස්වන වචනයකි. එසේනම් එයින් අදහස් කොට ඇත්තේ අකුණු ඇදගැනීමේ උපකරණයක් පිළිබඳවය. පැරණි ඉංජිනේරුවන් ස්තූප නිර්මාණයේදී එහි උසම ස්ථානයේ සවිකල චූඩා මාණික්‍ය තුලින් අකුණු සැරය භූගත කිරීමේ ක්‍රමයක් අනුගමනය කොට ඇත.
        මෙය ප්‍රථමයෙන්ම සංඝතිස්ස රජුගේ කාලයේදී රුවන්වැලි සෑයට නිර්මාණය කොට ඇති අතර ධාතුසේන රජු විසින් රුවන්වැලි සෑයේ වජ්‍ර චුම්බටය ප්‍රතිසංස්කරණ කොට ජේතවනාරාමයට හා අභයගිරිය යන ස්තූපවලටද මෙවැන්නක් සවිකල බව වංස කතාවේ දැක්වේ.

         බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් අකුණු සන්නායකයක් නිපදවනු ලැබුවේ ක්‍රි.ව. 1753 දීය. එසෙනම් දැනට අවු.1800 කට පමණ පෙර අප විසින් ඉදිකල අකුණු සන්නායකය ලොව පැරැණිම අකුණු සන්නායකය නොවන්නේද?

- අභිමානවත් ඉතිහාසය -
- මයුර රන්දුනු බණ්ඩාර -

Sunday, May 31, 2015

පැරැන්නන් සතුවූ භෞතික විද්‍යා දැනුම පිළිබිඹු වන දැදිගම ඇත් පහන

        පළමුවන පරාක්‍රමබාහු  රජු (ක්‍රි.ව.1153 - 1186) උපන් ස්ථානය පුංඛගාම හෙවත් වර්ථමානයේ දී දැදිගම ලෙස හදුන්වයි. එතුමා උපන් ස්ථානය සිහිපත් වනු පිණිස එහි තැනු ස්තූපය සූතිඝර චෛත්‍යය හෙවත් කොට වෙහෙර ලෙස හදුන්වයි. මෙම ස්තූපය 1951 වර්ෂයේ දී කැණීමට ලක්කල පුරාවිද්‍යාඥයන්ට චෛත්‍යය ගර්භයේ තිබී ලෝකඩ ඇත් පහනක් හමුවිය.

       මිනිසුන් දෙදෙනෙක් ඇතෙකු මත හිද සිටින අකාරයට නිර්මිත මෙහි ඇතා හොඩයෙන් උක් ගසක් දරාගෙන සිටි.

        පහනට අවශ්‍ය තෙල් ඇතාගේ කුසට පිරවිය යුතු අතර පහන දැල්වීමේදී අඩුවන තෙල් ඇතාගේ කුසේ සිට ලිංගය තුලින් ක්‍රමයෙන් වෑස්සෙන ආකාරයට මෙය නිර්මාණය කොට ඇත. මේ සදහා පැරණි නිර්මාණ ශිල්පියා ස්ථිතික ජල විද්‍යා මූල ධර්මය භාවිතා කොට ඇත.

         අතීත ලාංකිකයන් තුල භෞතික විද්‍යා මූල ධර්ම පිළිබඳව අවබෝධයක් තිබූ බව මෙයින් මොනවට පැහැදිලි වේ.

- මයුර රන්දුනු බණ්ඩාර -
- අභිමානවත් ඉතිහාසය -

Monday, March 30, 2015

පංච කකුධ භාණ්ඩ

       පංච කකුධ භාණ්ඩ භාවිතා කොට ක්ෂත්‍රීය රාජාභිෂේකය පැවැත්වීම ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ. 250 - 210) කාලයේදී ය. නොදුටු මිතුරන් වූ දෙවනපෑතිස් රජු හා අසෝක අධිරාජ්‍යයාගේ මිත්‍රත්වය හේතුවෙන් ලංකාවට රාජාභිෂේකය පැවැත්වීමේ ක්‍රමය හිමිවිය.

       පංච කකුධ භාණ්ඩ ලෙස හදුන්වන්නේ පරිහරණය කිරීමේදී සෞභාග්‍යය හිමිවනු ඇතැයි සැලකෙන භාණ්ඩ පහකි. ඊට වල්විදුනාව, මිරිවැඩි සඟල, මඟුල් කඩුව, සේසත හා නලල් පටිය අයත් වේ. අසෝක රජතුමාගෙන් ලැබුණු මෙම පංච කකුධ භාණ්ඩ උපයෝගී කොට ගෙන දෙවනපෑතිස් රජු දෙවන වරටත් අභිෂේක උත්සවයක් පැවැත්විය.

- අභිමානවත් ඉතිහාසය -

Wednesday, March 18, 2015

දස්කොන් මහ අදිකාරම

     ප්‍රංශ ජාතික පියෙකුට හා පෘතුගීසි ජාතික මවකට දාව ඉපදුනු පේදුරු ගැස්කොයින් පසු කාලයේදී දස්කොන් ලෙස ප්‍රසිද්ධියට පත්විය. කිරිවවුලේ රාළ, ඒදඩුවාවේ රාළ හා යාලේගොඩ මහ අදිකාරම ප්‍රමුඛ කණ්ඩායම විසින් ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට (ක්‍රි.ව. 1707 - 1739) විරුද්ධව කරන ලද කුමන්ත්‍රණය අවස්ථාවේදී රජුව බේරා ගැනීමට ඉදිරිපත්වූ කණ්ඩායමේ කැපීපෙනුන නායකයෙකු වුයේ දස්කොන් රාළ ය. එම කැරැල්ලෙන් පසුව රජු විසින් ක්‍රි.ව. 1709 දී මොහුව මහ අදිකාරම් ධූරයට පත් කරන ලදී.

     නරේන්ද්‍රසිංහ රජු සෑමවිටම ප්‍රධාන මාළිගාවේ නොසිට හගුරන්කෙත මාළිගාවේ විසූ බැවින් අග මෙහෙසිය වූ ප්‍රමිලා හා දස්කොන් මහ අදිකාරම අතර රහස් ප්‍රේමයක් හට ගත්හ.

     කෙසේ හෝ මේ පිළිබඳව රජු දැන ගැනීම නිසා ක්‍රි.ව. 1715 දී රාජ උදහසට පත් වූ දස්කොන් මහ අදිකාරමගේ හිස ගසා මරා දැමීය. ඉතාමත් දක්ෂ කවියෙකු වූ දස්කොන් නිළමේ හා ප්‍රමිලා බිසව අතර හුවමාරු වූ කවි පෙළක් පහත දැක්වේ.

ප්‍රමිලා විසින් දස්කොන්ට

තුන්කල තුමුල වනයේ මල් රස නොවි            ද
කන්තල ගජන් කොපුලත බිගු රොනට වැ       ද
කන්තල පහර වැනි නිරිඳුට අසුව ඉ                 ද
පින්කල හිතනුවනි දැන් තැවෙනු කුමට           ද

දස්කොන් විසින් ප්‍රමිලාට

විසැස් කමලාව රස පහස නොවිඳ                   මා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණට                 මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් පෙ             මා
මහිස් එකක් ගිය නම් නුඹේ නමට කි              මා

- මයුර රන්දුනු බණ්ඩාර -